Friday, November 15, 2013

fhgjhjfhgj


 අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලවෙ ගහලා......//

තාත්තා මට ඇනපු ටොක්ක
දවාලෙ තරු පෙනුනා.....//

ආදී මෙකී නොකී පියගුන ගීත එක වැලට සිහිපත් කරමින් දිරා ගිය කොට කැබැල්ලක් උඩ ඇණ තියාගෙන මා සිහිපත් කලේ ඊලගට කරන්නේ කුමක්දැයි කියාය. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් මා නසී කියන්නටද බැරි තවම මාහට අඹුවක් නැති නිසාම නොව ගෙදර ගියත් මග හිටියත් නහින්නේ මා බැවිනි. මා දැන්  සිටින්නේ ඝන වනාන්තරයක මධ්‍යයේ තේක්ක ගසක් යට හිදගෙනය. වෙලාව කොහොමටත් රෑ 8 නම් පහු වී ඇති බව සිතා ගත හැකිය. මාගේ කාලය මැනීම පිලිබද ඇති සහජ දක්ශතාවයෙන් නොව රෑ හත හමාර කෝච්චිය වෙලට එගොඩින් හූ හඩ තියාගෙන ගියේ දැන් සැහෙන වෙලාවකට කලින් නිසාය

ඝන වනාන්තර වල කොයින්ද තේක්ක කෑලි යැයි විටෙක ඔබට සිතෙන්නට ඇත. ඇත්තටම ඝන කියා කීවාට මෙය එතරම් ඝන නැත. කොටින්ම කියනවානම් අපේ වත්ත පහල වැව් තාවුල්ලට මායිම්ව තිබෙන බුරුත ගස් 2ක්, තේක්ක ගස් 5ක් හා කූරටියා පදුරු කිහිපයකින් සමන්විත වන පියසකි. ඊට අමතරව බිම් වගාවක් ලෙස යහමින් නිදිකුම්බාද ඇති බව මතක් වෙන්නේ සෙරෙප්පු කුට්ටම හදිසියට ගෙයි දොරකඩ දමා නිසාය.
තාත්තා යහළුවන් සමග දැන් මා ගිය තැන් සොයමින් ගම වටේම ඇවිදිනවා ඇති. අම්මා නම් පුටුවකට වී මා ගැන කියා හඩමින් තාත්තාටද බනිමින් සිටීමට බොහෝ දුරට ඉඩ ඇත. එක් අතකට මා පමනට වඩා කලබල වූවා යැයි දැන් දැන් මට හැගේ. මොලය පාවිච්චි කලා නම් නියපොත්තෙන් කඩා ගැනීමට තිබූ ප්‍රශ්නයක් දැන් පොරවකින් වත් කැපීමට නොහැකි ලෙස දරුණු වී ඇත

ඉදහිට ඇහෙන උලමාගේ හැඩවිල්ල පසුබිම් සංගීතයක් සේ තොරතෝන්චියක් නැතිව ඇසෙන රැහැයි නාදයට එක්කල ඔපෙරාවක් වැනිය. හිරිගඩු පිපී මයිල් කෙලින් වන්නේ උලම් නාදයටද නැත්නම් රාත්රියේ සීතලටදැයි සිතාගත නොහැකිව මම අත් දෙක බැදගෙනම කල්පනා කලෙමි. රාත්රියේ කැලයක ගත කරන පලමු වතාව නොවුනත් තට්ට තනියම නම් කිසිදිනක හිද නැත. යහලුවන් තිදෙනෙකු සමග හාවුන් ඇල්ලීමට ගොස් අම්මාගෙන් නොසෑහෙන්න ගුටි කෑ දවස ඉන් එකකි.

…එලිවෙනකම් මෙතනට වී හිදින්නටද බැරිය. තව ටික වෙලාවක් හිද තුන් මං හන්දියේ ඇති බස් නැවතුම්  පොලට රිංගා ගත්තා නම් වැඩේ ගොඩය. එසේ නොකර දිගටම මෙතන හිටියොත් මා හිවලෙකුගේ හෝ දිවියෙකුගේ රාත්රී ආහාරය බවට පත්වනු නිසැකය. කලුවරේම වනය පීරමින් හෙමින් හෙමින් විත් වැව් කන්ඩියට ගොඩවූ මා කොන්ද නමාගෙන වට පිට බලමින් ඉදිරියට ඇදුනේ කිසිවෙකුගේ හෝ නෙත නොගැටෙන්නට වග බලා ගනිමිනි. සැතපුම් කාලක පමන දුර වැව් කණ්ඩිය කෙළවරට පැමිනීමට පැයක් පමණ කාලයක් ගතවී යැයි මා අනුමාන කළද එය පැය කාලක් පමණ බව මට පසු කලෙක අවබෝධ විය.
“බියෙන් සිටින විට කාලය දැනෙන්නේ දෙගුන තෙගුන වීය” යන ඥානයද අනුව මට පහල විය. කණ්ඩිය කෙළවර වන්නේ වාන් දොරටුවෙනි. එදින වාන විවර කර තිබූ නිසා දණහිස දක්වා ජලයේ බැස එගොඩ වීමට සිදුවිය. වතුරේ තද සීතල කකුල් හිරිවට්ටන තරම් වුවද සිතේ තිබූ නොසන්සුන්කාරී බව මදකට පහව ගිය හැගීමක් සිතෙහි ජනිත විය. මා වතුර පහරේ මැදට වී මද වෙලාවක් සිටගෙන සිටියේ එබැවිනි.

…බස් නැවතුම් පොලේ ගැට්ටෙන් පැන ඇතුලට රිංගාගත් මා මුනින් අතට හැරී බිම ඇලවුණි. අද සිදුවූ සිද්ධි පෙල එකින් එකට රූප පෙලක් සේ ආවර්ජනය වන්නට පටන් ගත්තේ එතැන් සිටය. මහ රෑ තනිවම කැලයක් මැදට වී මා කුමක් කළේ දැයි ඔබට කුකුසක් ඇතිවාට සැකයක් නැත. මේ සිද්ධි දාමයේ මූලාරම්භය සිදුවන්නේ අදින් දවස් පහ හයකට පෙර නොව මීට පැය කිහිපයකට කලින්ය.

විමලෙ මාමා රාජකාරි වැඩකට දවස් කිහිපයකට පිටරට ගොස් ආපසු ගමට පැමිනෙන විට තාත්තාට කියා හොදවායින් වයින් බෝතලයක් රැගෙන විත් තිබිණි. තාත්තාද එය පරිස්සමින් රැගෙන කැබිනට්ටුවේ දමා යතුරු දමන්නට වග බලා ගත්තේ අපෙන් බේරා ගැනීමට නොව අම්මා දුටුවොත් (ඇනුම් පද ඇසීමට)  නැති කරදර ඇති වේයැයි සිතා විය යුතුය. තාත්තා යහළුවන් සමග වයින් බෝතලය හිස් කිරීමට සති අන්තය තෙක් හිදින බව පෙර දත්ත විශ්ලේෂණය කර නිගමනය කිරීමට මට හැකිවිය. එකල ෂර්ලොක් හෝම්ස්ගේ පොත් කියවා ඔහුගේ අඩි පාරේ ගමන් කරමින් සිටි මට ඔවැනි නිගමන නිරායාසයෙන්ම ගලා ආවේය.

සිකුරදා හවස පාසල් ඇරී මා පැමිනෙන විට නිවසෙ කිසිවෙකු පෙනෙන්නට නොසිටි හෙයින් අම්මාටද අඩ ගසමින් මා නිවසට ගොඩවීමි. සිකුරාදාට අම්මා පොලට යන බව මතක් වූයේ කිසිම ප්රථිචාරයක් නොලැබුණු තැනය. තාත්තා නම් වැඩ ඇරී කොහොමටත් එන්නේ හවස් වී බව කීමට අමුතු නිගමනයක් අවශ් වන්නේ නැත. විගසින් ඇදුම් ගලවා දමා තුවාය දවටාගෙන කුස්සියට පැමිනියේ බඩගින්නට නොව පුරුද්දටය. කැබිනෙට්ටුව උඩ තිබූ දෙය දැකීමෙන් මා එක්වරම පුදුමයට පත් විය. තාත්තාට අමතක වී යතුර කැබිනෙට්ටුව උඩ දමා ගොස්ය. අසුරු සැණින් කැබිනෙට්ටුව ඇර වයින් බෝතලය අතට ගත් මා හරව හරවා බැලුවේ කලා කෘතියක් විශ්ලේෂණය කරන කලා කරුවෙකු පරිද්දෙනි. වයින් යනු පැණි රස බීමක්ය, එය සාදා ඇත්තේ පළතුරු පල් කිරීමෙනි යන නුවණක් මට එකල තිබිණි. මූඩිය ලෙස යොදා තිබුනේද ඇබයක් බැවින් ඇබය ගලවා දමා අඩු කෝප්පයක භාගයක් වන තුරු වත් කර එක හුස්මට ගිල දැමීමට මා පසුබට නොවුණෙමි. එවිටම වාගේ ගේට්ටුවෙන් නැගුනු කිරිස් ශබ්දයෙන් කළබල වුනු මා අසල තිබූ වතුර කෝප්පයකින් හිස් පමනට වතුර පුරවා ඇබය ගසා නැවත වයින් බෝතලය තිබූ තැන්හිම තැබුවෙමි.

කිසිවක් නොදත් එකෙකු සේ නාගෙන පැමිනි මා ඇදට වැටුනේ නිදිමත ගතියක් දැණුනු හෙයිනි. ආපසු ඇහැරෙන විට සවස් වී තිබිනු අතර පියාගේ යහළුවන් කිහිප දෙනෙකුද පැමින සිටියේ මගේ රහස් පරීක්ෂක දිවියට බලපෑම් කරමිනි. කෙසේ වුවද මා සිදුකල වංචාව හසුවේ යැයි බිය සිතුනද වතුර සුලු ප්රමාණයක් පමනක් එක් කල බැවින් වෙනසක් වටහා ගැනීමට නොහැකි වන බව මට වැටහී ගියේය.

යහළුවන් දෙදෙනා සම්ග මිදුලේ ඇති මේසයක් වටා එක්වූ පියා වයින් බෝතලය හිස් කිරීමේ රාජකාරිය ආරම්භ කලෝය. එක් වරම "කවුද මේකට ලුණු දාපු වල් බල්ලා" යැයි ගෙරවුම් හඩක් ඇසුණි. වතුර වෙනුවට මා දමා ඇත්තේ ව්යාංජනය සදහා යෙදීමට අම්මා සකසා තිබූ ලුණු වතුර බව ක්ෂණයකින් අවබෝධ කරගත් මා මීලගට සිදුවන දේ දන්නා බැවින් පිටුපස දොරින් පැන දිවීමි. මා කැලෑ වැදුනේ එහි ප්රතිපලයක් ලෙසිනි.

සිතුවිලි දැහැන කඩා බිද දමමින් මූනට වැටුණු ලයිට් එලිය දෙස ඇස් ඇර බලන විට මා ඉදිරිපිට සිටියේ තාත්තාය. තාත්තා විසින් කනෙන් ඇද නැගිටවාලනු ලැබූ මා ගෙදර රැගෙන ගියේ පයින් පහරකින්ද සංග්රහ කිරීමෙන් අනතුරුවය.